පින්තාරු කල කඳුලු…

April 16, 2010 7 comments
ඇසිල්ලේ දිගු නිදි බි‍ඳෙයි
මන්ද ස්වර කටහඬක් අවදි වී
හැඟුම් නැති නියායෙන්
හඬන කාරණ අසයි…???
කාරණාවක් නොදැනම
කඳුල බේරෙනු දකින
පින්සලක් කොපුල මත
වෛවර්ණ රූ අඳියි….
බොඳ කඳුලු මත ඇඳි
සීනයම සිතුවමක් වන
විස්මයෙන් ඇලැලුන
හුදී දන අත් සන් නගයි….
රළ නැගෙයි, බිඳිති විසිරෙයි
මහ රළක්  සිඟිති රළ ‍රැගෙන යයි
හැඬුම්, අත් සන්, විස්මය
හිරුත් සමගම කිඳී යයි… යලි නො එයි….

පසුවදන

මීට පසුවදනක් ලිවිය යුතු යැයි මට හිතුනා…ජීවිතය යනු අද හෙට සහ ඊයේ වූ සියලු දෑ වැලැලෙන රළ පෙලක් මෙන් යැයි හිතුනා. අප හඬනවා.. දුකට කාරණ අසාවි. අප හඬා වැටෙමින් කියන දුක මත තවෙකෙකු චිත්‍රයක් අඳිනවා… අප ගැන… තවෙකෙකු බැන වදිවි.. තවෙකෙකු අප වීරයන් කොට අත් නගාවි.. ඒත් මේ සියල්ල අද පමණයි. හෙට අප වීරයනුත් නෙමෙයි… හෙට අප වරදකරුවනුත්, නිවරදකරුවනුත් නෙමෙයි.. හෙට අලුත් දවසක්…  ජීවිතය නිදි බිඳුන හීනයක් වගේ..හීනය අතීතයයි..එය යලි නො එයි. ඊට දුන් විවිධ මුහුණු ,අද පමනයි. හෙට ඒ හීනයක් පමණයි.

Advertisements

චහ්…. අසුබද මන්දා….?

April 15, 2010 12 comments

සංකේත මත යැපෙන අපි …(කට හම යනකන් ජීවිතය හම ගැසූ කයි කතන්දර 6)

හූනෙක් චුක් චුක් කිව්වොත්…? පය පැකිලිල ගමනක් යන්න යද්දි වැ‍ටුනොත් ? එලියට බැස්සම ආයෙත් අමතක වෙච්ච දෙයක් ගේන්න යන්න උනොත් ? … ඉස් ඉස්සෙල්ලාම කලු සතෙක් මුලිච්චි උනොත් … ? ” චහ්…. අසුබද මන්දා….? ” ඔහොමයි අපේ කට්ටියක් හිතන්නේ… මට මේ කතාව කම්පනාවට ආවේ පහුගිය දවසෙ දෙකේ මේ වගේ ගොඩාක් දේවල් කන වැකුන නිසා….

නැගෙනහිරින්ද කිරි ටික ඉතුරුවේ..? හෝස් ගාලා නෙමෙයි.. බොහොම අමාරුවෙන්..ලිප ඉතුරුනේ…අලුත් අවුරුද්දේ ඉස් ඉස්සෙල්ලම බැංකුවෙන් සල්ලි ගන්න නරකයි…. තැන්පත් කරන්න ඕනා… නැත්නම් අවුරුද්දම මූසලයි…. ඉතුරුවක් නැහැ…  ඉස් ඉස්සෙල්ලම පන්සලකට යන්න ඕනා… එතකොට “හිතට” හොඳයි…. දෙවියනේ .. අපි මුලු ජීවිතේම අර්ථ ගන්වන්නේ සංකේත වලින්ද?  මේකේ හරි වැ‍රැද්ද කතා කරන්න මට අයිතියක් නැහැ… මම එය හොයන්නේත් නැහැ.. ඒත් එහි අඳුරු විපාක සහ සුබවාදී විපාක ගැන කතා කරන්නම හිතෙනව..

අපේ අක්කා , ගෙදර උයන ගෑස් ලිප පත්තු කරන්නේ ගිනි පෙට්ටියකින්.. ඒ නිසා ගෙදර කොයි තරම් ලිප මෙලවෙනවද කියන්න ඒ ගිනි පෙට්ටි ගාන හොඳ සංකේතයක්… ඉතින් එය දකින කොට ඒ සංකේතය තව තවත් උයන්න පොලඹවනව  කියල එයා කියනව. ඒ නිසා ඈ ගිනි පෙට්ටි කන්දක් වගේ එක උඩ එක ජනෙල් පඩියේ ගොඩ කරනව ඉවර වෙන වෙන ගානට…

ගෙදරින් එලියට යනකොට පානක් පත්තු කරල යන්න… යන වැඩේ හරි යනව… මේ තව කන වැකුන දෙයක්…. මෙතැන්ට මම ආගම ගාව ගන්නේ නැහැ..මෙය ආගමට අදාල කතාවක් නෙමෙයි. ඒත්… ඒත්…. ඒත්…

අපේ ජීවිතයම සංකේත වලින් අර්ථ ගන්වන්න අපි හුරු උනොත් , ඒක ඇබ්බැහියක් වෙන්නෙ නැද්ද? අපිට ඉස්සරහට ඔය කියන ජාතියේ අසුබ දෙයක් හම්බ උනොත්, අපි කියනව හිතට හරි නැහැ කියල… මොකක්ද හරි නැත්තේ? ඇයි අපි එච්චර මනසින් දුර්වල වෙන්නේ ? අපිම නේද අපේ මනස දුර්වල වෙන්න මෙහෙයවන්නේ..

මම තව කතාවක් කියන්නම්… මේ මගෙ යාලුවො අතරෙ වෙච්ච දෙයක්… කතුරකින් නිස්කාරනේ කොල කපන එකට සංකේතයක් දීල තියනව, එතැන අඩ දබර වැඩි වෙනව කියල… ඉතින් මේ පණ්ඩිතකම් කියන මාත් මගෙ අසල උන්න යාලුවෙක් කතුරකින් කීතු කීතු කොල කපද්දි , මටත් කියවුනා “නවත්තන්න ඕක…. හොඳ නැහැ එහෙම කරන්න” කියලා.. එතැන්දියි මටත් තේරුනේ මාත් නොදැනුවත්වම එය මා තුලත් තියෙන බව…

කට වරදින එක තවත් එකක්… ගමනක් යද්දි අපේ තාත්ත හරියට අපට කියනව “තව කොච්චර වෙලා යයිද?” කියල අහන්න එපා කියල…. එහෙම අහන්න එපා කියන්නේ ඇයි ඇහුවම , එයා කිව්ව.. ඒවා දෙවියන්ට අයිති , දෙවියන්ගේ පිහිටෙන් වෙන දේවල්… දෙයියනේ…. මෙහෙම හැමදේම දෙයියන්ට , නොපෙනෙන බලවේග වලට බාර කරන්නේ ඇයි?

මේ හැමදේකම සංකේතයක් දකින් එක ලෙඩක්ද මන්දා සමහරුන්ට.. සංකේත කියන්නේ අපේ ඇස් වල සහ හිත් වල අපි පිලිගන්න , විස්වාස කරන්න කැමැති දේ සහ, පිලිගන්න තේරෙන්නේ නැති, තර්කයකින් විසඳ ගන්න බැරි සිදුවීම් වලට කරන අර්ථගැන්වීම්දැයි මට හිතෙනව. තාර්කික නොවන පලියට, අපට අවිශය පලියට ඒවා බොරු පුහු දේවල් යැයි කියන්න තරම් අන්තයකට යන්න මම කැමැති නැහැ… අප ලෝකයේ , අපට අවිශය (අචින්ත්‍ය විෂයන්) තිබෙන බව පිලි ගත යුතුයි. ඒත් මේ සංකේත ගැන්වීම..? පමණට වැඩි යැයි මට හිතෙනව….

ගමනක් යන්න යද්දි ආයෙමත් හැරී යන්න උනොත් අමතක උන දෙයක් ගේන්න, දෙයියනේ නොයා වෙන මක් කොරන්නද? එයින් බොරුවට හිත වට්ට ගන්නේ අපිමනේ… මොකටද වැටෙන්නේ? ලෝකෙ කඩා වැ‍ටුනෙ නැහැ නොවැ… සැහැල්ලුවෙන් ගමන යන එකයි තියෙන්නේ… ගමන ගිහින් ඇවිත් , යම් හෙයකින් එය සාර්ථක ගමනක් උනොත් , අපි උවමනාවෙන්ම සංකේතාත්මක අසුබ සිද්දිය මකා දානව හිතෙන්. එහෙම නැත්නම් එය නිකම්වත් මතක් කරන්නේ නැහැ. යම් හෙයකින් ගමන අසාර්ථක උනොත්..අන්න අපිට අර “බාධාව” මතකෙට එනව.. අසාර්ථක වීමට හොඳ හේතුවකුත් දෙමින්…. මේ චින්තනය අතාර්කික දෙයකැයි මම නම් හිතනව…  මොකද අපි තහවුරු කරගන්න කැමැති දෙයට අපි සංකේතයක් දෙනව.. ඒ තරම් සංකේත මත ජීවත් වෙන්න ගියොතින් අපේ දින චරියාවම පිස්සුවක් වෙනවා… අපිට දස අත සංකේත පෙනෙන්න ගනීවි..

ඒ නිසා……පෙරදා රෑ දු‍ටු හීන වලට,, ඉස්සරහට මුලිච්චි වෙන නිමිති වලට, පාට වලට, රූප වලට, පහන් වලට .. හිත සංසුන් හෝ නොසංසුන් කරන්න දෙන්න එපා… එය ඔබේ දුර්වල මනසට , ආත්ම විස්වාසය හීන බවට සාධකයක් විතරයි… බොලඳ ලෙස සංකේත වලට වහල් වෙන්න එපා.. දු‍ටු පමනින් එය අත් හරින්න… ඊට යන්න දෙන්න… එයට හිතේ හොල්මන් කරමින් හිත වාලෙක් කරගන්න දෙන්න එපා… හිතට එන බිය,තැති ගැන්ම වගේ හැඟීම් එක්ක හිතට සෙල්ලම් කරන්න , සෙල්ලමෙන් හිතට පැරදෙන්න දෙන්න එපා…  හිත ජය ගන්න… ජය ගත යුත්තේ ඔබේ ආත්ම විස්වාසයයි…. නොදු‍ටු, අර්ථ ගන්වන ලද බලවේග නෙමෙයි….

තව දෙයක්… යම් හෙයකින් සංකේතයක කී දෙයක් යයි ඔබ විස්වාස කල දෙයක් ඇත්ත උනා කියල හිතන්න… හිත නොවැටී යලි උත්සහ කරන්න හදා ගන්නව මිසක් ඔබට උවමනා සංකේතයට දලුලා වැඩෙන්න දෙන්න එපා…

මේ මගේ පෞද්ගලික හැඟීම….

හැමදාම මෙහෙම නෑ.. ඉරක් පායයි…? නැද්ද??

April 14, 2010 Leave a comment

මම දශක දෙකකුත් අවුරුදු ගනනාවක් එලිය බලපු සුපුරුදු සඳැල්ලෙන් බලන් හිටියා. එදා තුරුපතර, අහස , කඳු, ගහකොල දිහා බලන් මා අවුරුදු දහ හතකට පෙර සිරිය මතක් කරන්න උත්සහ කලා.

කොස් ගහ මුදුන මගේ කාමරයේ පල්ලෙහයින් පෙනිච්ච කාලේ ඈතයි.. දැන් ඒ ගහ ගෙටත් වඩා උස ගිහින්. ඒත් එදා නැවුම් දලු පෑව ගස අද මෝරපු අතු ඉති ටික අමාරුවෙන් උහුලගෙන, පුෂ්ටිමත්ව හිටි පල බර අතු බිම හෙලල බර හෑල්ලු කරගෙන.

ඈත පේන කන්ද දිහා කොච්චර නම් මම බලා ඉන්න ඇතිද? හෙලපු කඳුලු.. ඊට හේතු වෙච්ච විවිධාකාර මාතෘකා… මට කට කොනකට හිනහවකුත් නැගුන…. ලපටි ඇස් වලින් එදා මා බලපු කඳු මිටියාවත , මහලු ඇස් වලින් මා දිහා බලන් ඉන්නකොටයි මට දැනුනේ මාත් ඉස්සර ලඳ බොලඳ කෙලි පොඩිත්ත නෙමෙයි කියන එක…

අහස නම් එදා වගෙමයි… ඒ කියන්නේ එදා අහස නෙමෙයි. අහසට මම එදත් අදත් කියුව, “ඔයා හරිම වෙනස් වෙන කෙනෙක්” කියල.. උන්න ගමන් පාට වෙනස්.. ටිකකින් හැඩය වෙනස්… ටිකකින් වැස්සක් කඩා වට්ටනවා… ආයෙමත් උණුසුම… දාහය..තාපය…

අලුතින් නා නා ප්‍රකාර හැඩයෙ ගෙවල් බිම්මල් වගේ හිස ඔසවලා.. බිලිඳු ඇස් වලින් ඈත පේන මා දිහා මේ සිඟිති බිම්මල් බලන් ඉන්නව…

කෝ කොහා? දවසක් රෑ අතරමං වෙලා ගෙයි වීදුරුව දිහා බලාගෙන හැංගෙන්න මං නැතිව උන්නු කොහා…  රතුම රතු ඇස් හංගන්න හදනව..කොහාල ඉන්නෙ හැංගිලානේ…  ඌ කියන ගීය මට අදත් ඇහුන… පුරුදු නාඹර ස්වරයෙන් නෙමෙයි… කෙඳිරියෙන්…. ගීයක් සේ නෙමෙයි…. මතක බණක අනුසාසනයක් වගේ… දැමුනු, දැහැමි ස්වරයෙන්…

කාලය මවන වෙනස තව දුරටත් අරුමයක් නෙමෙයි… කාලය මැවු සංහිඳියාව ඊටත් වඩා අරුමයක් නිසා…  කවම කවදාවත් ප්‍රාර්ථනා බිඳී ගියැයි නො හඬන්නියක් මම… ප්‍රාර්ථනා ඉ‍ටු නොවෙන විට හඬා වැටෙන්නට, ආවේගශීලී වන්නට කැස කැවූ මම, හඬා නොවැටෙන්නට උගත්තේ මා තුලින්මයි…හෙමි හෙමිහිට අරුනෝදයක් වගේ ජීවිතය ගොඩ නැගෙද්දි , සුනාමියක් වගේ මොහොතින් පොලවට සමතලා වෙද්දිත් , දුහුවිලි පිසදා තැලුම් අතගාගෙන මොහොතක් වේදනාව පහවන්නට හැර හෙමි හෙමිහිට නැගිටින්න මට කියා දුන්නේ මේ ජීවිතයයි.

එවිට මා මටම කියා ගන්නව… “සංසාරෙ හැටි මෙහෙම තමයි… හැමදාම මෙහෙම නෑ… ඉරක් පායයි… “.. ජීවිතේ මල්… එහෙම තමයි….

ඔබෙත් ඔලුව අවුල් වෙද්දි චිත්ත ඒකාග්‍රතාව වැඩි වෙනවද?

April 12, 2010 Leave a comment

(කට හම යන කන්..ජීවිතය හම ගැසූ කයි කතන්දර… 5)

ඔලුව අවුල් වෙන්න වෙන්න , හිත පුදුමාකාර විදියට ඒකාත්මික වෙනව අමුතු දේවල් ලියන්න. සීග්‍රයෙන් අදහස් හිතට එනව….ඒ දේ ඔබට වෙලා නැද්ද? කවුරු හරි කෙනෙක් අපව පිස්සු වට්ටන තරම් යක්ෂාවේශව අප තුල නිදා සිටින යකාද කූද්දන්නට උත්සහ කරන විට, ඔබ අත් විඳ තිබෙනවද , කොහේවත් නැති පුදුමාකාර සංසුන් කමක්, සංයමයක්,පාලිත මනසක් එක පාරම ඇති වෙනව… ? විශාල වේගයක් පැන නැගෙද්දි හිතේ, හිත විසින්ම විසාල ප්‍රතිරෝධී බලවේගයක් අපව මෙහෙයවනව.. හරියට ලොකූ මුහුදු රලක් අපව ගිල ගන්නට වෙරලට හඹා එද්දි, ඊටත් විසාල රළක් විසින් පෙර දිව ආ රළ ගිල ගෙන මුහුදට ඇදගෙන යන්නා වගේ?

මට මේක ඔයාලත් විඳවල තියනවද කියන්න… ගොඩාක් ප්‍රශ්න තියන වෙලාවකට, ඔලුව පිස්සු වැටිල තියන වෙලාවකට , පුදුමාකාර එකාග්‍රතාවයක් ,  අරමුණකට වේගයෙන් යන කැපවුන ගතියක් ඇවිත් තියනවද කියන්න..මේක මම ගොඩක් අත් දැකල අත් විඳල තියන දෙයක්. සහ ගොඩාක් නොවෙන නමුත් සමහර අයගේ ජීවිත වල අහල තියෙන දෙයක්. මේ ලියන දේ සුරංගනා කතා සිදුවීමක් නෙමෙයි… සැබෑ ජීවිතයේ-මේ මහ පොලවේ සිටින මිනිසුන් අත් විඳි මනෝ භාවයක්……ජීවිතේ අඬා වැටි වැටී කඩා වැටි වැටි නොසිටිමින්, තමුන් තමුන්ගෙම හිතේ හයියෙන් ගොඩ ආපු සැබෑ චරිත අපට හමු වෙනවා දෙනෝ දාහක්…ඒත් ඒ අතරෙ හමු වෙන තවත් දෙනෝ දාහක් , මැසිවිලි කියන, ජීවිතේ අත් හරින, ජීවිතේ සුන් වූ යලි නිවැරදි කල නොහැකි යයි වගකීමෙන් පලා යන ජීවිත වෙනුවෙන් මේ දේ මේ බ්ලොග් අවකාශයේ ලියා තැබිය යුතු යැයි මට හිතුනා…

දෙමාපියන්ගේ, ස්වාමියාගේ, වද හිංසා, නොයෙක් ගැහැට කම් කටොලු මධ්‍යයේ , බොහෝ චිත්ත ධෛර්යයෙන් සිය අනාගතය වෙනුවෙන් අරමුණ කරා ඇදුනු චරිත මා දැක තියෙනවා.. ලෝකයම තමන්ට එරෙහි වෙමින් ලෝකයම තමාට ඇඟිල්ල  දික් කරන මොහොතක , කිව නොහැකි තරම් සංසුන් මනසින් මිනිසුන්ට, සමාජයට මුහුණ දෙන චරිත මා දැක තිබෙනවා. මහා ගිනි කන්දක් මෙන් අවමන් , නින්දා අපහාස , සමාජ දොර‍ටු පුපුරවමින් ගං වතුරක් සේ ගලා යනවිට , නිසොල්මන්ව කරබා ඉඳිමින්, නිසංසලේ ජීවිතය හෙමි හෙමින් ජය වෙත යොමු කරන චරිත මා දැක තිබෙනවා… මා කිසි සේත්ම බිඳුනු පෙම නිසා වස බිවු ජීවිත ගැන මෙහි කතා කරන්නැ නැහැ.. ජීවිතයේ යම් බිඳ වැටීමක් නිසා, ලෝකයටම අපවාද නගමින්, අත පය අකුලා ලෝකයට පලි පෙන්නන චරිත ගැන මෙහිදී එක අකුරක්වත් වැය කරන්නේ නැහැ.

මම මේක ලියුවෙ ඇයි කියල කෙනෙක් අහයි..එච්චරම බරක් මෙහි නැති වග සැබැයි…විභාගයක් නිසා දිවි නහ ගන්න, විභගෙට මූන දෙන්න බැරුව බොරු ලෙඩ ගන්න, විභාගයක ප්‍රතිපල නිසා වහ බොන, ගෙදර ප්‍රශ්න නිසා, පෙම් පලහිලවු නිසා අධ්‍යාපනය කඩා කප්පල් කර ගන්න හිත් වලට පොඩි පණිවිඩයක් දෙන්නයි මේක ලියුවේ.

ඔනෑම කෙනෙක්ගේ හිත ඇතුලේ මහා බලවේගයක් තියනවා. ඕනම කෙනෙක්ගෙ හිතක. ඒ විභවය අපට පාලනය කල හැකි දෙයක්.. එය පාලනය නොකර පරාජය වෙන්නේ අපේ ගැලවීමට..වගකීමෙන් මිදෙන්න..ඒත් අපිට උවමනාව තියනවනම්- මම අභියෝග කරනවා- අපිට පුලුවන් හිත හයිය ගන්න- එයින් දැඩි වී- ශක්තිමත්ව ප්‍රශ්නෙට මුහුන දෙන්න..මම පුන පුනා කියනවා.. එක එහෙමම තමයි කියලා.. කම්මැලියෝ මිස දුර්වලයෝ කියලා ජාතියක් ලෝකේ නැහැ. දුර්වලකම වාසියට හදාගත් දෙයක් විතරයි. ඔනෙම කෙනෙකුට ඔනෙම දෙයක් කරන්න පුලුවන් හිත හයිය තියනවනම්…

එක දෙයක්.සාම්ප්‍රදායික කතා වල එන  දුප්පත් දරුවො අල්ලට සීනි කාල කහට එක බීලා, ලාම්පු එලියෙන් පාඩම් කරලා ලෝකය ජයගත් කතා අපි එමට අහලා තියනවා. මම මේ ලියුව කතා වල එන එක්කෙනෙක්වත් ඒ domain එකේ නෙමෙයි.. මිනිස්සු කතාවට කියන “සැප” පරිසරයෙන් ආපු අයගේ කතා මේවා(සමාවෙන්න .කතා බොහෝ දුරට සංශෝධනය වුනා නැවත පෝස්ට් කිරීමේදී).. ඒත් ඒ අපිට පෙනෙන සැප පිටිපස්සේ තියන ඛෙදවාචකය කාටවත්ම නොපෙනෙන නිසාමයි ඒ domain එක ඇසුරු කොටගෙන මේ සිද්ධීන් ටික ලියුවේ..

මේ එකක්වත් සුරංගනා කතා නෙමෙයි.. මේ මහ පොලව උඩ දු‍ටු දේවල්… මේ නුදුරු කාලයේ- මා අවට පරිසරයේ…

මෙයට මා එක් කල යුතු පසුවදනක් තිබෙනවා මේ සංශෝධිත පෝස්ට් එකේ…
එය සොඳුරු කතා කරුවෙකු මේ ලිපිය ගැන කල වැඩි දුර පැහැදිලි කිරීමක්,,,

අපි මනස අවුල් වූ, වියවුල් වූ, ලොකු ප්‍රශ්නයක් කඩා වැ‍ටුනු අවස්ථාවක සිරුර සහ මනස තුල පැන නගින ආවේග මුල් කොට ගෙන යම් යම් දෑ කරනව… සමහරු ඒ ආවේගය දැඩි ශක්තියක් බවට පරිවර්තනය කොට ගෙන , ආවේගයෙන් කඩා වැටීමේ හෝ ආවේගයෙන් විනාශයකට මෙහෙයවීමේ ආදීනව පසක් කොට ඒ විභවය නිවැරදි දිශාවකට මුදා හරිනවා… ඒත් සමහරු ඒ ආවේග වලින් නොසංසුන් වී එක්කෝ විනාශයකට තමාව මෙහෙයවනවා. එක්කෝ නිවැරදි, ඒ මොහොතේ විය යුතු දේ පැහැර හැරීමට එය හේතුවක් කොට ගන්නව. බහුතරයක් තුල තිබෙන්නේ විභවය නොතකා හරිමින් , කුසීතව හකුලා සිටින තත්ත්වය හෝ , විභවය තුල විනාශකාරී අනර්ථකාරී දෙයකට අවකාශය..එයයි නොවිය යුත්තේ. මා මේ ලිපියෙන් පසක් කරන්නට උත්සහ කලේ එය නොවිය යුතු බවයි… තමා තුල ඇති විභවය තමා හරි මානයට මුදා හල යුතුයි. එය ශක්තියක් මිස ආවේගයක අනර්ථකාරී ප්‍රතිපලයකට නොමෙහෙයවිය යුතුයි..එතැනයි අපේ බුද්ධිය, සංවිධිත මනස මනා මෙහෙයක් ඉ‍ටු කරන්නේ… එතැනයි අපි ශක්තිමත් මිනිසුන් වන්නේ….

අපේ හිත තුල තියන මේ විස්මයජනක හැකියාව හඳුනා ගන්න..එය ඇති බව අදහන්න… එය ශක්තිමත් බව .. එහි ශක්තිය තමාට අවැසි නම් පාලනය කල හැකි බව විස්වාස කරන්න පලමුවෙන්ම,,, ඊට අවනත වන්න… ගැ‍ටුම්කාරී මොහොතක , ඉන් මිදී හරි දිශාව සොයන්න… ආවේගයට ඔබව යටත් කරන්න ඉඩ දෙන්න එපා. ආවේගයේ වහලෙක් වෙන්න එපා..  ආවේගය සමග නොගැටී, සංසුන් මනසින් , මුදා හල නොහැකි වූ ආවේගය බුද්ධිමත් දෙයකට මුදා හරින්න.. ඔබේ ආවේගය එයින් අවම හානිදායී, අවම පසු තැවීමක් ඇති කරවන , අර්ථවත් ප්‍රතිපලයක් උදා කරාවි,,,,

ජීවිතේ මල්.මේ ලිපිය කලින් පල කල එකෙහිම සංශෝධනයක්. එහි ඇතම් දෑ ඉවත් කලා. ඒත් අමිල අදහස් දැක්වූ ආදරනීය බ්ලොග් සහෘදයින් ලියූ ප්‍රතිචාර පරෙස්සම් කොට තබා මම ඒවා මෙහි නැවැත පෝස්ට් කලා..ලියූ ඔබ හැම දෙනාටම ස්තූතියි,,,,

ලිවුවේ අපබ්‍රංසයක්ද මන්දා මේ කතාව… 🙂

INTERජාලෙට HOT HOT අවුරුදු වේවා !!!

April 10, 2010 1 comment


2010-4-10 මා Interජාලෙට ලියූ අවුරුදු පැතුම

SMS තිහ හතලිහ ඉගිලෙයි
Facebook එකට තව වැඩ ගොඩ වෙයි
අන්තර් ජාලෙට බෝ පින් සිදු වෙයි
අවුරුදු උණුසුම ජාලය කලඹයි

අවුරුදු Forward ස්පෑම් නොවේවා
Broadband වේගය වැඩි වේවා
Wap , SMS මිල අඩු වේවා
අන්තර්ජාලෙට අවුරුදු වේවා!


1997- 4 – 14  මා දු‍ටු අවුරුද්ද
කෙසෙල් කැනක් දොර දුමේ ඉදෙනවා
ඔන්චිලි වාරම් ගමට ඇහෙනවා
ගුඩු කෙලි පංචිය දොරට වඩිනවා
අවුරුදු ආ වග හිතට කියනවා

දශකයක වෙනස!!!……………

මිනිස්කම බෙදාගන්න ආදරනීය හදවත් හැමෙකටම…
ස්තූතියි..
සිනා බෝ වෙන අවුරුද්දක් වේවා!

ජීවිතේ මල් විසින්

2010-4-10 දා මහ දවල් 12.30 ට අන්තර්ජාලයට සහ එහි සහෘදයන් ට ලියූ කවියක්

සංසාරගත සිහින…පෙම.

April 9, 2010 Leave a comment

වෙහෙරක්
සුදෝ සුදු පිච්ච
වතුසුද්ද මල්
ගලපන..
නිසසලේ
මලින් මල 
බැ‍ඳෙන
වෙහෙරක්…
රළු දෙ අත
තනයි…
පාදමක් …
සවිමත් …
ගොඩ නගයි
වෙහෙර බඳ
සියුමැලි 
අතැඟිල්ලක්…
රළු මුත් 
සවිය ඇති..
අපිලිවෙල මුත්
නිවැරදි…
තැනෙයි නිසි සේ
වෙහෙරක්..
සුදුම සුදු
මලින් බඳින
වෙහෙරක්…
පාදමෙන් 
සවි ලද
කරගැට පිරි
අතින් නැගි 
ආකෘතිය…
සියුමැලි
අතැඟිලි…
මල් පෙති  
නිසි ලෙස
හැඩ කරන..
සොඳුරුතම
සංසාරගත
සිහිනය වූ
සැබෑ පෙම..
ඒ වෙහෙරක්…
සුදුම සුදු
වතුසුදු මල්
වෙහෙරක්…..

විබාගේ තමයි අපේ අබාගේ…

April 8, 2010 Leave a comment

විභාග ප්‍රතිපල කොහොමද??

කුතුහලයෙන් කිලි පෙලෙන මේ ප්‍රශ්නේ ඔන්න දැනටමත් OL ලියපු අහිංසකයින්ගෙන් ඇහෙනව ඇති. අනේ පවු….

විභාගය කියන්නේ ජීවිතයේ කඩ ඉමක් කරපු මේ සංස්කෘතිය ගැන නාහෙට අහන්නේ නැති වදනක් ලියන්නයි යන්නේ.. ඉතින් ඔය සදාචාරාත්මක ඇස් වැරදිලාවත් මේ ඔස්සේ යනවනම්, අනේ ඉතින් මේ window එක close කරලා දාන්න..

ශිෂ්‍යත්වයෙන් පටන් ගත්තම ඉතින් පශ්චාත් උපාධිය දක්වාම අපේ ජීවිතයේ සාර්ථකත්වය තීරණය කරන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවනෙ. රටට හෙණ ගැහිල තියෙන්නෙත් මේ නිසාම තමයි. ජීවිතයේ සාර්තකත්වය තීරණය කරන එකම මිනුම් දණ්ඩ තමා අධ්‍යාපනික සුදුසුකම්. හැකියාවට ‍රැකියාව දුන්නෙ ගල් යුගේ..දැන් තියෙන්නෙ සහතිකේට ‍රැකියාව දෙන ගෝලීය විශ්ව ගම්මාන සංකල්පය නොවැ!… නැද්ද හොඳයි.. ඉතින් මේ යථාර්තෙ තේරුම් ගත්ත රත්තරන් අම්මල තාත්තල ලමයින්ව පංති දක්කල හරි විබාග පාස් කරවන්නෙ නැතුව පුලුවනැයි….

ශිෂ්‍යත්වයෙන් වැඩිම ලකුණු..නැත්නම් ජාතික පාසැල් සිහිනය බොඳ වෙයි..ඊට පස්සෙ පන්දම්,නැත්නම් දොල පිදේණි වලට සල්ලි එපැයි…… O ලෙවෙල් ‘A’ කීයද මන්ද(10ක් ද කොහෙද) all As… නැත්නම් AL බයෝ මැත්ස් හීනෙ බොඳ වෙනව. AL- යාලුවන් ටිකගෙ ඇස් වහල – ටියුෂන් සර්ලගෙ බො‍ටුව මිරිකල,පසුගිය විභාග ප්‍රශ්න කොරල කොරල A තුනම ගන්න ඔනා.. ඒ විතරක් මදි… දිස්ත්‍රික්ක රෑන්ක් එක උඩට යන්න ඔනා.. නැත්නම් කැම්පස් හීනෙ බොඳ වෙනව.. අප්පච්චියෙ ඊට පස්සෙ මාත් හිතුවෙ මේ කරුමෙ ඉවරයි කියල..මොන.. එතනයි පටන් ගැන්ම…

subject සිලෙක්ට් කිරීම, 1st class, second upper-lower, ටෙම්පරි ලෙක්චරර්, ඊට පස්සෙ පමනන්සි…මල මගුලයි… ඉවරයක් නැහැ.. ඊට පස්සෙ ශිෂ්‍යත්ව (ආපහු 5හෙ පන්තියට යනවද මන්ද) පිටරට පශ්චාත් උපාධි… කියල වැඩක් නෑ… මොනා පස්සෙද අපි මේ දුවන්නෙ? මුකුත් නැහැ ? නැද්ද හොඳයි… මේක තනිකර පිස්සුවක්ම නෙමෙයිද?

මේ පිස්සුවට දුවපු එකියක් තමයි මාත්.. නවතින්න ඔන උනා මටත්..ඒත් තවත් අයගේ හීන සපුරන්න ගිහින් බැරි උනා. මාත් තාමත් දුවනවා…  මේ සිරි ලංකාදීපේ බහුතරයක් කොල්ලෝ කෙල්ලෝ හෝල් පංති ගිහින් මේ දිවිල්ලේ තමා ජය කණුවක් හොයන්නේ… කාටද කොතනද වැරදුනේ?

හැම කෙනෙක්ම හැමදෙයක්ම කරන්නේ තමන්ගේ පැවැත්ම ‍රැක ගන්න.. කොටින්ම කියනවනම් ජීවත් වෙන්න.. හරි හම්බ කරගෙන තත්වයක් හදාගෙන ජීවත් වෙන්න..මොකක්ද මේ තත්වේ? සුරක්ෂිත ජීවිතය..අවදානම් අඩු.. එහෙම නේද? ඉතින් මේ රට තුල අඩුම අවදානම් රහිත අනාගතයකට short cut පෙන්නුම් කරන එකම ක්‍රමය තමා මම අර ඉහත කී දිවිල්ල..බලු පොරය.. අනිත් හැම මගක්ම අවදානම් සහිත අවිනිශ්චිත, වාසනාව මත තීරණය විය හැකි අවස්ථා… ඒකයි හේතුව කවියන් , කලාකාරයින්, සංගීතවේදින් වෙන්න සිහින මවන දරු දැරියන් නොදකින්න.

ආකල්පමය සීමාවනුත් මෙතැන්ට බල පානව. සමාජ තත්වය මනින මිණුම මත අධ්‍යාපනික සුදුසුකම, ගරු කට යුතු රස්සාවල් වැදගත්..පරස්සාවක්වත් කොර ගන්න බැහැ නොවැ නැත්නම්..

මේ ලංකාව තුල මෙවන් තත්වයක් යටතේ OL රිසල්ට්ස් පන්න පන්න අහන එක පුදුමයක්ද?

විභාග පාස් වුන අය පමණක්ද අද රටේ ගරු කටයුතු, බුහුමන් ලබන තැන් වල ඉන්නේ ? එහෙම නැත්නම් ඔවුන්ගේ සහතිකයට ඔබ්බෙන් ගිය නිවැරදි දැක්ම ,  කැපවීම නෙමෙයිද ඔවුන් ද ඉන්න තත්ත්වෙට ගෙනත් තියෙන්නෙ?

අම්මලා තාත්තලා මේ ගැනත් හිතන්න… ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරිම නමැති දේ උමතු වේගයෙන් දකින්න ඔබට තියන ආසාව නිසා,ඔබ කිසී වගකීමක් නැතුව ඔවුන්ගේ අනාගතය ඔබට ඔනා දිහාවට දක්කනවා වෙන්න පුලුවන්. ඒත් අවුරුදු දෙක තුනකින් නැත්නම් දශකයකින් ඔවුන් කොහොම හරි පොලවෙ කකුල් දෙකෙන් හිටගන්නවා දැකල ඔබ සැනසුම් සුසුම් හෙලයි. අපි අපේ උන්ගේ ඇස් පැදුවා කියල උදම් අනයි. ඒත් ඔබම විහින් ඔවුන්ගේ අනාගතය කාබාසීනියා කල වග දකින්න ඔබ ජීවතුන් අතර නැති වෙයි..මොකද ඔවුන්ගේ නොසැනසුන ජීවිත, දශක ගානකට පස්සෙ නමුත් පසුතැවෙන, අසාර්ථක ජීවිත , පෞරුෂය හීන , කඩා වැ‍ටුන ජීවිත ප්‍රතිපල  අහන්නේ දකින්නේ උන් උන්ම හෝ උන්ගේ දරුවන් මිසක් ඔබලා නෙමෙයි..

දරුවන්ට නිදහසේ හැදෙන්න දෙන්න.. මේ සම්බන්ධව “ඕෂෝ” ලියූ ලිපි ගොඩාක් වටින මූලාශ්‍ර. සූක්ෂම ලෙස ඔවුන්ට පාර පෙන්වන්න. ඒත් ඔබට උවමනා පාරේ උන්ව බලෙන් කෝ‍ටුවෙන් තල තල අතින් ඇදගෙන දක්කන්න එපා. උන් යන පාර ක‍ටුක බව, තමන්ම ගොඩ නගා ගතයුතු බව උන්ටම පසක් වෙන්න ඉඩ දෙන්න. ඊට අවැසි ශක්තිය වෙන්න. අනුශාසනය මිස විනිශ්චයාසනයට ගොඩ වෙන්න එපා..

OL ප්‍රතිපල එන වග ඇහුන ගමන්ම මගෙ හිත දුවගෙන ගියේ මගේ දෛවය ඉන් අනතුරුව විසඳුනු දුක්බර ආකාරය පිලිබඳ මතකයට.(http://sansaare.blogspot.com/2010/01/blog-post_3756.html) ඔබට මොලය කලඳක් හෝ තිබේ නම් එයම ඔබේ දරුවන්ට කරන්න එපා.

මේ ක‍ටුක වචනයෙන් , ඒත් ගොඩාක් සංවේදී හැඟීමෙන් ලියුව ආදරනීය ආයාචනයක්…

ප.ලි.
මේ ප්‍රතිපල සිද්ධිය අලලා කතාවක් ලියන්නැයි මගෙන් ඉල්ලා සිටි රොෂාන් හේරත් දරුවාට මගේ ස්තූතිය.ඔබ අදහස් කල පණිවිඩය මෙහි ගැබ් වී ඇතැයි මම විස්වාස කරනවා. ස්තූතියි රොෂාන්.