Archive

Archive for February, 2010

මලෙහි නිදන කින්නරිය

February 25, 2010 Leave a comment

ක‍ටුකතම යථාර්ථය ළඟ
සොඳුරුතම කල්පිතයක් ඉපිද
ඒ අතර මැද මග දැන දැන
කින්නරී, ඈ සොයන්නිය…
දකින්නිය….


නොපොහොණි මල් ගුලාවක
මත් වී නිදන කින්නරිය
ඇස් අරින්නට අකැමතිව මිස
නොසිතන් අඳ බවක් ඈ….
අසරණිය……


මලෙන් උපන් කින්නරිය
එ’මලටම පෙම් බඳින්නිය
මලට අයිතිව , මල අයිති කොට
‘ අහිමිකම ‘ නොදන්නී සේ හිඳින්නිය…
ඈ නිදන්නිය…...

Advertisements

සොඳුරු සිතුවමක ලියු අකීකරු කවිය

February 23, 2010 Leave a comment

දහසක් ඇස් දෙන
සොඳුරු සිතුවමකින් ගිලිහුනු
සුසුමකින් ඇස් අරින
සුසිනිඳු මලකි මම්..

එහෙයින් ඒ සොඳුරු සුසුම් පොද
හැ‍ඟෙන මානයෙන්
ඉවත යමි,
දුරින් හිඳ සුසුම් ලමි…

හේබා ගොස්
මුකුලිතව ඉන්නෙමි
කඳුලු මත
සිනහ පිනි තවරමි

පපු තුරට නිහඬව
හිසදී තුරුලුව
හද ගැස්මෙහි
අරුත් පසිඳිමි
ගලපන මං සොයමි….

නිසංසල නිශාවට
ත‍ටු ගසන
හැඟුම් සියොතුන්
දැහැන් ගත කරවමි…

සොඳුරු සිතුවම
කොනෙක ලියවුනු
අකීකරු කවියට
නිදන් වෙන්නට දෙමි…
ඉතින් නම් නොනැගිටිමි….

සොඳුරු කෙම්බිම

February 22, 2010 Leave a comment

සසල තුරුපත්
අතුල ජරපත්
ගොඩැලි පිරි මග
ඇදුනු දිවි ගැල…
සිනහසෙමි මම්
හැඬුම් සඟවමි 
සොඳුරු කෙම්බිම
දකින ඇස් ලඟ…

මගේ අහස නුඹමැයි…

February 19, 2010 Leave a comment

නුඹ…
හොර රහසින්ම උදාවූ
සොඳුරු වසන්තයක් මැයි

මටත් නොදැනීම
මා සමග ආ
සුලං රොදක් මැයි….

හිතටත් හොරා
නොදැනීම වැටෙන
හුස්මක්ම වේ මැයි…

ලංවී නිදැල්ලේ
සිත අස සරන
ඇසි පිල්ලමක් සේ මැයි….

සඳකට පායන්න
බැබැලෙන්න ඉඩ පිදුව
නිල් අහසක්ම සේ මැයි…

කලුවරින් ඉකි බිඳි
සඳින් එලි ලැබ පණ ලද
මගේ අහස නුඹමැයි….

රෝස මල් දවසක්…….

February 13, 2010 Leave a comment

ඊයේ හරි ලස්සන දවසක්… ඒ මොකද දන්නවද? ආදරේ බෙදා ගන්න හැටි බලන් ඉන්න හැකි වෙච්ච අපූරු සංවේදී මොහොතක්..පුංචිම පුංචි පැටවු..වැලන්ටයින් දවස සමරන හැටි.. උසස්ම සමාජ පංතිය දිහා වප‍රැහින් බැලුව ඇස් ඇරුන දවසක් ඊයේ…. වැලන්ටයින්ලඟ එන වග මතක් කරමින්, අවුරුදු 11-12 හුරතල්ලු ආදරය හුවමාරු කල හැටි අමුතුම ඇස් වලින් මම බලා උන්නා….කවදාවත් නොදු‍ටු ඇස් වලින්….

මේ ලංකාවෙ උසස්ම සමාජ පංතියට ඇරුන පාසැලක්… කොටින්ම කියනව නම් ලංකාවෙ සංකරම, පෝසත්ම ධනවාදී පංතියට පමණක් ලංවිය හැකි සීමාවේ තියන පුංචි එන්ගලන්තයක්…

ඊයේ….

පුංචි උන්ගෙ අත් වල රතු, රෝස,කහ, තැඹිලි රෝස මල් පිරිලා…. උන්ට ආදරය කියන්නේ වටිනා දෙයක් වග කියා ගන්න වචන නැති තරමට ඇස් ආදරයෙන් දිලිසෙන හැටි මම තෙත් වුනු ඇස් වලින් බලාන උන්න. ‘මිස්, මම මේ රෝස මල් ගත්තෙ අම්මටයි, තාත්තටයි, නංගිටයි, අක්ශනාටයි…මම මේ මල් ගන්න මගෙම  pocket money එකතු කලා’ ලස්සන රෝස මල් පොකුර වගේම සුවඳ විහිදුවන ලතෙත් වචන කියන පුංචි එකා දිහා මම ආදරෙන් බලා උන්නා….

‘අක්ශනා’ කවුද කියල මම ඇහුවෙ නැහැ. මොකද, පුංචි එකා ‘අක්ශනා’ අරං හඳපානේ පැනල යන්න අදහසෙන් ඒක නොකියන වග මට හැඟුන නිසා…සහ එවන් පැන යාම්, බරපතල පෙම් හුටපට කිසිම දාක ඒ පරිසරයෙන් මට ඇහිලා නැති නිසා…ඒ වගේම අවුරුදු 11 පුංචි එකා අවුරුදු 30 දි ‘අක්ශනා’ව කසාද බඳින එකකුත් නැහැ.

මුලු පංතියම පාට පාට රෝස මල් සුවඳින් පිරිලා… ඒ දිහා කුහක කමින් බලන්න තරම් සාම්ප්‍රදායික වෙන්න මට බැරි උනේ එතරම්ම අව්‍යාජ සුන්දරත්වයක් වැලන්ටයින් පංති කාමරයට ගෙනැවිත් නිසාද කොහෙද…. පොඩි උන් උද්දාමයෙන් මල් වලින් අත් පුරවගෙන මං ඉස්සරහින් එහාට මෙහාට යනවා.. අහංකාර ඇස් වලින් කියනව තමුන් අනිත් අය අතරෙ කොතරම් ජනප්‍රියදැයි කියල…

පුංචි පැටියෙක් ලස්සන රතු රෝස මලක් අරං මා ගාවට ආවේ ඒ වෙලාවෙදි… ‘මිස් මේක මිස්ට අපේ මුලු පංතියෙන්ම!happy valentines day miss!!!’…කීවෙ සිංහලෙන් නම්  නෙමෙයි… ඒත් කඩුවෙන් උනත් කියවුන සුමට සුමුදු හැඟීම  මට වචනයක් කියන්න බැරි තරම් සංවේදී වැඩි වගේ දැනුනා,,, උන්ගේ හිත් වල  අරක් ගත්ත ආදරය උන් ප්‍රකාශ කරන අරුමය මොන තරම් සුන්දරදැයි මට දැනුනෙ එවිටයි….. උන්ගෙ අව්‍යාජත්වය ගැන ආදරයෙන් පිරුන වගේම අපි විදු බිමෙහි ගෙවුව වංචනික සුදු රෙදි පෙරවුන ජීවිතය ගැන පොඩි පහේ පශ්චත්තාපයකුත් මට දැනෙන්නට උනා..

ඇසිල්ලකින් මගේ හිත අවුරුදු ගානක් පස්සට දිව ගියා මගේ විදු බිමට….මටත්  නොදැනිම ලොකු හුස්මක් පිටවුනා…

වැලන්ටයින් යනු අපේ පාසලේ තහනම් චරිතයක්. ඒ ගැන කතා කෙරෙන්නේ පවා රහසේ… පෙම් තිලිණ, කාඩ් හුවමාරු වෙන්නේ පවා රහසේ… අහු උනොත්…කුල කාන්තාවට යන එන මං නැති තත්ත්වයක් …

පෙබරවාරි 14 දවස ඉස්කෝලෙ දවසක් උනොත් එදාට අපෙ ඉස්කෝලෙ අඩු පොලිසියයි සී.අයි.ඩී.එකයි විතරයි. ගේට්‍ටුව ඇතුලට එන සිසුවියන් ශිෂ්‍ය නායිකාවන්ගෙ උකුසු ඇස් හා අත් වලට ගොදුරු වෙමින් මනා පරීක්ෂාවට භාජනය වන්නේ පෙම්වතාට ගෙනා ලියුම්, තැගි අන්වේක්ෂණය කරන අටියෙන්… , පෙම්වතාට දීමට ගෙනා තැගි, පෙම්වතුන්ගෙන් ලද තැගි අත් අඩංගුවට පත් වීමෙන් අපේක්ෂා භංග මුහුණු, විදුහල්පතිනිය අභියස හඬා වැටෙන මුහුණු, එයට ඔච්චම් කරමින් සුපිරිසිදු චරිතයෙන් වැජඹෙන මුහුණු, පසු දාක දෙමවුපියන් අභියස පාසල් කාර්යාලයේ වග උත්තර බඳින මුහුණු, පාසැල හැරදා කුල කතක මෙන් නොව  පරාජිතව ගෙදර යන මුහුණු යනාදී නනා ප්‍රකාර මුහුණු පෙබරවාරි 14 න් ඇරඹෙන සමයේහි දැකියහැකියි.

කාලයටත් වඩා පරිසර දෙකෙහි පෙනෙන මේ වෙනස පුදුමයි.

වැඩිහිටියෙක් හැටියට පිලිගැනෙන අවුරුදු 18 පවා, අහිංසක ප්‍රේමයක් විඳ ගැනීමම, චරිතය කෙලෙසා ගැනීමක් ලෙස හංවඩු ගැසෙමින්, මුලු අනාගතයම අඩ අඳුරෙන් අඳුරට හෙලා ගත්, සමාජයට ද්වේශ කරන චරිත ගැන විනීත කතුන් බිහිකරන විනයෙන් උසස් විදුහල් වලින් දහස් ගනනක් උදාහරණ දිය හැකියි මට උනත්..

මා මේ කතා කරන්නේ ද්වේශයෙන් නොවෙයි… අපි හැදුන සමාජ ක්‍රමයේ , අපව මානසික වහලුන් හැටියට , ප‍ටු ආකල්ප වලින් ලොව දකින්නට, ලෝකයේ මනුස්සකමට ගරහන්නට උගැන්වීම පිලිබඳ පශ්තත්තාපයෙන්. මිනිසත්කම අවමානයක් ලෙසත්, අවමානය නිසාවෙන් ආත්මයම රාමු කොට වැට බැන්ද නිදහස් චින්තනය වලලා දැමිය යුතු ලෙසත් උගැන්වූ, ඉගෙනගත් කොටසකින් පැවත ආ මම ඊයේ දු‍ටුවෙ දෙයින් කම්පනයට පත් වුනා..

ආදරය, ප්‍රේමය නිදහස් මාතෘකා වුන මා දැන් නිතර අසුරු කරන ඉහත කී පාසැල් පරිසරයෙ, ලමුන් හැම දෙනාම ආදරය , ප්‍රේමය ගැන විවෘතව අදහස් බෙදා ගන්නා හැටිත්, ලමුන් ඔවුන්ගෙ ආදරය පිලිබඳ සීමාවල් පාසැලෙන්ම පරිණත ලෙස ඉගෙන ගන්න හැටිත් මට පසක් උනා…

ඔවුන් ආදරය කරන්නේ ප්‍රසිද්ධියේ… ඇස් වලින් බැලුම් හුවමාරු වෙන්නේ, නිදහස් වෙලා වලට කතා කරන්නේ, විවේකයට අහර බෙදා ගන්නේ, කවා ගන්නේ ප්‍රසිද්දියේ.. අතින් අල්ලා ගන්නේ, ආදරයෙන් වැලඳ ගන්නේ කැත නැතුව බලත හැකි සංයමයකින්…  අහුමුලු සෙවීම්, ආදරය ඉක්මවා ගිය සිදුවීම් රපොර්තු වන්නේ අල්පයෙනුත් අල්ප වශයෙන්…. පාසලෙන් පසු රවුම් ගැසීම, නිල ඇඳුමෙන් විනෝද ගමන් යාම ගැන නම් කිසිම කෙනෙකු නොසොයන තරම්… ඒ දෙවල් වලට වැදගත් කමක් නොදීම තුලම, දරුවන් තුලද එවන් දෙයක් නීතිය අභිබවා යමින් කිරීමේ අවශ්‍යතාවයක් නැතුව ගිහින්… ඔවුන් ආදරය කරන්නේ නිදහසේ… ගුරුවරුන් පොලිස් කාරයන් මෙන් කිසිවෙකුගෙ කිසිම දෙයක් සොයන්නේ නැහැ… දරුවන් තුල , වයසත් සමග මතුවන දඟකාරකම, ආදරයට කිසිම කෙනෙක් වැට බඳින්නේ නැහැ..ඔවුන් ජීවිතය ලෝකය දිහා විවෘත ඇස් වලින් බලනවා. ජීවිතය විඳිනවා….

මම හිතන්නේ මගෙ ලිවීමේ නිකම් අදහසක් එනව වගෙ, මේ වලන්ටයින් සැමරුම පාසැලේ නිල උත්සවයක් වගේ එකක් කියල… ඒ ගැන සමාවෙන්න… එහෙම නෙමෙයි තත්ත්වය..

පාසලේ කිසිම සැමරුමක් නැහැ… කොටින්ම ගුරුවරු , විදුහල්පති හෝ කවුරුත් පෙබරවාරි 14 ගැන කතාවක් වත් නැහැ. ඒ කියන්නේ දෙපත්තටම කතාවක් නැහැ.. එකඟ පැත්තට හෝ විරුද්ද පැත්තට…..

ලමයින්ම ඔවුන් විසින් හදා ගත්ත සංස්කෘතියක් ගැනයි මම කතා කලේ..කවුරුත් එසෙම්බ්ලි තියල වැලන්ටයින් ගැන කතා කරන්නේ නැහැ.. මේ සංස්කෘතියට නිල බවක් එකතු වෙන එකම අවස්ථාව තමා ඔනැම කෙනෙකුට මිලට ගැනීමට ශිෂ්‍ය නායක සංගමය රෝස මල් විකිණීම… එය නිදහසේ වෙන දෙයක්…

ලම්යි හැමොම මල් අරන් දෙමවුපියන්ට දෙන්න කියල දෙයක් එතන නැහැ ( අපෙ ඉස්කොල වල තියන කෘතීම ‘ගුරු දින’ වගේ). යාලුවන්ට, ගුරුවරුන්ට මල් දිය යුතුයි කියල කිසිම එකක් නැහැ..පංතිය එහෙම සංවිධානය වෙන්නෙත් නැහැ… එයල හිටි හැටියෙම එයලට හිතුන දේ කරන අය… අපේ ඉස්කොල වගෙ සති ගනන් සංවිධානය වෙන තැනක් නෙමෙයි ඒක.. මම අපෙ විදුහල් නිර්දය ලෙස විවේචනය කරනව කියල හිතන්න එපා…

මල් ලැබෙන ගුරුවරුත් ඉන්නව, නොලැබෙන ගුරුවරුත් ඉන්නව, මල් මිලට ගන්න ලමයිත් ඉන්නව , නැති අයත් ඉන්නව. ගත්තත්, දුන්නත් , නොගත්තත්, නොදුන්නත් අහිතක් වෙනසක් නැහැ ඉස්කොල පරිසරයෙ..එක තමා එතැන හැටි…

ඒක ලමුන් විසින්ම හදා ගත් උප සංස්කෘතියක් නිසාවෙන් විදුහල් පරිපාලනය සහ ගුරුවරු එයට ඉඩ දී, ආදරය ඔවුන්ට බෙදා ගන්න ඉඩ දී, උපෙක්ශාවෙන් , මුදිතාවෙන් ඒත් විමසිලිමත් ඇසින් බලන් ඉන්නව.. අන්න එයයි අගය කල යුත්තේ…. ගුරුවරුත් පරිපාලනයත් උපරිම නිරීක්ෂණයෙන් ඉන්නේ.. ලමුන්ට නොදැනෙන්න….ඔවුන් එය දැනුනත් ලොකු දෙයක් හැටියට ගන්නෙ නැහැ, මොකද කනෙන් රිංගා ලොකු ලොකු වැඩ කරන අසංයත තත්වයක් අති කරගෙන ආත්ම ගෞරවය නැති කර ගන්න වෙන එක එයලට ලැබෙන නිදහසටත් අවමානයක් බව දන්න නිසා… එතන තියෙන්නේ ‘ස්වයං විනය’..

ඔවුන් අප මෙන් සිතිවිලි සිර කරගෙන, ‘විනය’ නමැති සිරගෙයි සිරවුන වහලුන් නෙමෙයි…

‘විනයට’ සිරවුනු හැඟීම් යම් හෙයකින් අවස්ථාවක් ලැබෙන සැනින් නවතින්නේ ව්‍යසනයක් ලඟ… එවන් අන්තරායක් ඔවුන්ට නැහැ..ඒ ඔවුන් කිසිවෙකුගෙ පාට කණ්නාඩියකින් ලොව නොදැක, තමුන්ගේම අවබෝදයෙන් ලොව දකින්නට උත්සහ කරන නිසා…

මේ ලිපිය කියවන ඇතැම් අයට බොහෝ වේදනාවක් දැනෙන්නට පුලුවන්… ඒත් මෙය තමයි මම දකින විදිය…

මේ සංකර කෙල්ලන් කොල්ලන් අපි දකින තැන ‘මැඩම්’ කියාගෙන නැගිටින්නෙ නැහැ… වාරය අවසන් වෙලා යද්දි දණ ගහල වඳින්නෙත් නැහැ. පංතියක කිසිම වෙලාවක පාඩමක් සංසුනේ ඉගෙන ගන්නෙත් නැහැ… ඔවුන්ගේ මුලු ලෝකයම නිදහස් එකක්… ඒ නිදහස අපේ සහජ, සම්ප්‍රදායික හිත් වලට දිරවන්නෙම නැහැ…

ඔවුන්ව සිර ගත කරන්නට උත්සහ කිරීමෙන් කීකරු වෙන හික්මෙන කෙනෙක් නැහැ…එය ඔවුන්ට නුහුරුයි… ඔවුන්ගේ නිදහසට සමීප වෙන තරමට, ඔවුන් මෙන්ම විවෘත ඇස් වලින් ලෝකය දකින තරමටම, ඔවුන්ට පරිණත ස්වාධීන මිනිසුන් හැටියට සලකන තරමටම ඔවුන් අදහා ගත නොහැකි තරම් අපිට සමීප වෙනව, ආදරය කරනව… ඒ විතරක් නෙමෙයි,,, දහස් ගනන් පෙම් සබඳතා ඇති වෙමින් නැති වෙමින්, ප්‍රේමයේ රහ අනෙක් වර විඳිමින්, ඔවුන් සතුටින් නිදහසේ ඉගෙනත් ගන්නවා..අනිත් හැම බාහිර දෙයක්මත් කරනව… ජීවිතේ උපරිමයෙන්ම විඳිනවා… අවසානයෙදි උසස් පෙලත් සමත් වෙලා, ශිෂ්‍යත්වත් හදා ගෙන ලස්සනට ලෝකයේ ඉහලම විශ්ව විද්‍යාල වලටත් යනවා…

බස් වල අහුමුලු වල බලා සිටිය නොහැකි තරම් පිලිකුල් රති කෙලි විඳින, පුංචි වයසෙන්ම පාසල් වලින් දොට්ට දමමින් මහ ගැහැනුන් මිනිසුන් කරවන ‘විනයෙන්’ බැඳී සිටින, අවසරයක් ලද තැන ආදරයත් පසෙක ලා සීමා ඉරි පනින, අහිමි වුන ආදරයට පිලිතුරු වශයෙන් පිහියෙන් අනින අපේ හැදියාව, කුඩා කල උගත් ‘විනය’ අපව ගෙන යන්නේ කොහේටදැයි මම ප්‍රශ්න කරනවා…

නිදහසේ ආදරය කරන, නිදහසේ අවෛරයෙන් ආදරයෙන් වෙන් වෙන, නිදහසේ ආදරය පමණක් නොව ජීවිතයට අවශ්‍ය අන් සියලු දේ සම්පූර්ණ කර ගන්නා මේ නිදහස් සංකර දරු දැරියන් දිහා වප‍රැහින්ම බලන අප , වපරයට බෙහෙත් ගත යුතු කල් එලඹ ඇතැයි මට හිතෙනවා…

වැලන්ටයින්…. මෙවර නුඹ මගේ ජීවිතයට පෙම් පත්, ලියුම්, පෙම් තිලිණ නම් නොගෙනා බව ඇත්තයි… ඒත් නුඹ මට පෙන්වූ මේ ඇත්ත නම් මට මුලු ජීවිත කාලයටම ඇති වේවි…

මේ අතිශයින්ම සංකර, ලස්සන, සැපට හැදුනු, ධනවත් දරු පැටවුන් දකින විඳින අසීමිත නිදහස්, අපරිණත, නමුත් පිලිකුලෙන් බැලිය නොහැකි, අව්‍යාජ ආදරය ගැන ලියුව මේ ලිපිය ඇතමුන්ට දිරවන්නේ නැති වේවි… එත් අපි පොඩි කාලෙ ඉඳලම බැඳුනු විනය, සදාචාරය,හැදියාව අප ගෙනැවිත් නතර කර තිබෙන්නේ කොහේදයි එකම එක් අයෙකුවත් සිතුවොත්.. මට ඒ  ඇති…..

කොච්චර බොලඳද? එත් කොච්චර ලස්සනද?

February 9, 2010 Leave a comment

ජීවිතේ කවියක්… ආදරේ එහි සොඳුරුතම වදනක් ! කඳුලැලි ගොඩක්, හස‍රැලි පොදක්, එකට එක් වූ විට දැනේ.. පෙර නොවිඳි රසයක්….(නන්දා මාලිනි)

ඒ රසයට අද මගේ හෙල බසම අතකොලු වුවත්, එදා… කිසිම බහක් අවනත උනේ නැහැ… :-)ඒ නිසාමද කොහෙද පිස්සියෙක් වගේ බැරි කඩුව වනන්න ගියේ ඒ කාලේ… 🙂

අවදානම් පරිසරයක, මුහුදු වැල්ලක රල ලඟම හැදු තවත් පුංචි වැලි මාලිගාවක්… අන්තිමට එ සොඳුරුතම වදනෙන් මතක වශයෙන් ශේෂ උනේ, මේ කවි පිංච විතරයි  ….

සංසාරේ…. කාලය ගතවෙන ඉක්මන…. එහා පැත්ත බලලා මෙහා පැත්ත බලන ඇසිල්ලෙන් ජීවන සිදුවීම් කෝටි ගානක් පහු වෙලා… අපිව වෙනස් මිනිසුන් , ගැහැනුන් බවට පත් කරලා…
හිතාගන්නවත් බෑ…

එත් මීට අවුරුදු 7 කට කලින් උන්න මේ මගේ බොලඳ කම අද වෙනකොට මුහුකුරා ගිහින්ද කොහෙද.. ජීවිතයෙන් මුහුකුරා නොගිහින්, මහමෙර හිසින් දරා නොගෙන, බොලඳ බවින් මුහුකුරා යන්න හැකි වීම ගැන මම නම් පෞද්ගලිකව සතු‍ටු වෙනව.. ජීවිතයට හිනහව , සැහැල්ලුව ආරෝපණය කර ගන්න මම ආයුධයක් කර ගන්නෙ මගේ හිතේ හැංගිලා ඉන්න අවුරුදු 12 පුංචි ගැහැණු දැරිවියයි….

අවුරුදු ගානකට ( ම්ම්… 7 කට- 2003 ) කලින් ලියුව බොලඳ පුංචි සිතුවිල්ලක්…


when you looked at my eyes
and whispered my name
it was only , i was
a little bit surprised ..


when you lift a sweet word
and an innocent smile at all
it was only , i was
with a tender feeling beside


when you called me ‘my dear’
when u asked ‘why mood?’
i saw your ceaseless care
it brought me joy and smile


but
when you said ‘you are mine’
‘i love you’ at last while
did you know how i got attacked
with a beautiful heart missile?

ආදරේ කොච්චර බොලඳද අනේ…… ෆෝන් පෙට්ටි ගානේ ඇවිද ඇවිද,කෝල් කර කර, කල් බල බල, ලෝකයටම හොරෙන්, ලෝකයටම බයෙන්….  අනේ… සංසාරේ… කොච්චර බොලඳ උනත් මොන තරම් සුන්දරද? 🙂

"මම ආපහු එනව …! "

February 4, 2010 Leave a comment

ඉර බැහැ ගෙන යන හැන්දෑව දකිද්දි හැමදාමත් වගේ හූල්ල හූල සිහිනය ගැන හිත හිත මට ඉන්න සිදු වුනේ නැහැ. මෙන්න මම ලස්සන වෙරලෙ අයිනක වාඩි වෙලා… තට්ට තනියම!

ලෝකයම දොඩමලු වෙලා… පුංචි පැටවු ටිකක් එකතු වෙලා බෝට්‍ටු අරිනව! පුංචි පවුලක් කෑම බීම අරන් පුංචි පික්නික් එකක් ඇවිත්.. දඟකාර කොලු ගැටවු ටිකක් ක්‍රිකට් ගහනව…විසේකාර කොලු ගැටයෙක් හුලං බදමින් වේගයෙන් රල උඩ යන ස්කේටින් තට්‍ටුවක නැගී චමත්කාර දසුනක් මවමින් වාත වේගයෙන් පාවෙනව…. මම… පුංචි වැලි මාලිගාවක් හදනව…

“තනි තට්‍ටුවෙ, පොඩි වහලයක් තියන,හත‍රැස්…. ” ඔව්  සුන්දර ගෘහ නිර්මාණ ශිල්පියා ඒ කිව්ව විදිහෙම ලස්සන පොඩි වැලි මාලිගාවක්… ටික ටික ගොඩනැගෙනව….

මූදු ‍රැල්ල බිඳ බිඳ වැලි මාලිගාව ලඟටම ගලනව… රතු එලි දල්වමින්…. ඒත් මම වැලි මාලිගාව හැදුව… රලට ගසා ගෙන යන බව දැන දැනම… හැන්දෑව හෙමි හෙමින් සමු අරන් යන්නයි ලැහැස්තිය… ඉර දෙවියො බලාන ඉන්දැද්දි සිතිජ ඉමේ ගිලා බහිනව…  හිතේ තියන හීනෙන් අඩක් හරි ඉෂ්ට කර ගත්ත මම හෙමිහිට සැන්දෑ වෙරලෙන් නැගිට්ටෙ අකමැත්තෙන්…

මගේ පුංචි වැලි මාලිගාව.. හෙට නුඹ එතැන නැහැ… මම දන්නව.. එත් අනේ මහ සයුරු කුමරුනි, අඩුම ගානේ සලකුණක් වත් තියා යන්න මගේ පුංචි වැලි මාලිගාවේ… . සුන්දර හදවතක ගෘහ නිර්මාණ ශිල්පය…  මගේ අඩක් සැබෑ වුන සිහිනය….

යන්න කලින් මම වෙරලට හීන් රහසක් කිව්ව… “මම ආපහු එනව …! “

(වැලි මාලිගාව හැදුවෙ  2010-2-4 හවස 5.00 ට ගල්කිස්ස වෙරලෙදි)