Archive

Archive for March, 2010

ආදරය හෙවත් සුප් හොද්ද….

March 30, 2010 Leave a comment

(කට හම යන කන්..ජීවිතය හම ගැසූ කයි කතන්දර… 2)

 තරුණ යුවලක් – ඈත අසුනක ඉඳගෙන…  එකිනෙකාට තුරුලු වෙමින්, රහසේ බස් කොඳුරමින්, තරුණිය තරුණයාගේ උරහිස් වල දැවටෙමින් සිනහ වෙනවා… ඈට මේ ලෝකේ වගක් නැතුව වගෙයි… තරුණයා ආදරයෙන් ඈ දිහා බලා ඉන්නවා.. මොහොතක් තරුණියගේ හිස සිප ගන්නවා කාටවත් නොදැනෙන්න… ඈ නෙත් පියා ගෙන එය විඳිනව…

ඔවුන් දෙන්නා ඇත්තටම කුරුලු ජෝඩුවක් වගෙයි…  ඔවුන්ගේ දෑත් එකිනෙක පැටලිලා…ඈ තරුණයාගේ උරහිසේ හිස හොවා ඉන්නවා… ඔහු නිකටෙන් ඇගේ හිස උරහිසට තද කරන්, නිහඬව එය විඳිනවා…

හ්ම්ම්… දැන් අත උස්සන්න බලන්න මේ කතාව කියවද්දි ලැජ්ජා හිතිච්ච කට්ටිය ?
“ඉතින් ඊට පස්සේ? ” කියල මගෙන් අහන කට්ටියත් අත උස්සනවද?

“අපෝ මේක හරියට මල් නවකතාවක ඡේදයක් වගේනේ…”

“මේ මොන බොලඳ කතාවක්ද? අප්පා…”

“මුන් හැසිරෙන්න දන්නෙ නැති හැටි..”

“ඒ මදිවට ජීවිතෙ මල් , කෙල්ලෙක් වෙලත් මෙවුව කිසි ලැජ්ජාවක් නැතුව ලියන හැටි… !”

මේ සිතිවිලි වලටත් අත් කීපයක් හරි එසවෙයි නේද?

සොඳුරු කතා කාරයින් සමග නිමක් නැති කතා බහ වල අතරමං වෙද්දී අද දවසේ කතා මාතෘකාව උනා මේ තරුණ යුවල…

ඔයාලා හැමෝටම මොකක් හරි දෙයක් ඇති ඒ ගැන කියන්න… ජීවිතේ මල් තවම කතාව ඉවර නැහැ… ඈටත් තියනව කතාවක් කියන්න…  සොඳුරු කතනදර කාරයකු කීව කතාවකුත් කියන්න තියනව… ඕන්න එහෙනම් අහන්න…

ඉතින් මේ යුවල නිශ්ශබ්දව ආදරය කරමින්, කොඳුරමින්, නිසංසලේ යනවා…. මෙච්චර කලබලකාරී වාහනයක… ටිකක් ඈතින්… මැදි වියේ කාන්තාවෝ දෙන්නෙක් ඉන්නව… ඒ දෙන්නගේ ඇස් මේ යුවල දිහාවේමයි… ඒ ඇස් වල තිබ්බේ දයාව ආදරය පහන් හැඟුම් නම් නෙමෙයි.. අප්‍රසාදය, තරහව, කලකිරීම ඒ ඇස් වල දිලිසෙන්න වගෙයි මම දැක්කේ….

මගේ ලඟම හිටි සොඳුරු කතා කරුවට මම මෙහෙම කිව්ව

” මම මේ හිතුවෙ අර ඇන්ටිල දෙන්න මේ පෙම් ජවනිකාව ගැන මොනව හිත හිත යනව ඇතිද මේ වෙලාවේ? කියල” . අනුන්ගේ හිත් ගැන පේන කියන එක හොඳමත් නැහැ. ඒත් එකෙන් හොඳ වෙන වෙලාවලුත් තියනව… අද වගේ…

” අම්මප මුන්ට ලැජ්ජා නැති හැටි…අපේ කාලේ නම් ඔහොම නැහැ” කියල හිතනව ඇති… – මම කිවුව…

කතා කරුවත් පුදුමයට වගේ ඒකම හිතලා… හැබැයි මම හිතන්න පැය බාගෙකටත් කලින්ලු …

” මමත් ඕක හිතුවා… අම්මපා මුන් ප්‍රසිද්ද තැනක හැසිරෙන්න දන්නේ නැති හැටි!” කියල හිතනව ඇති… – සොඳුරු කතා කරුවා කියුවා..

” ම්ම්…. මේ රටේ ඉන්නේ බොරු සදාචාරයකුයි නැති විනයකුයි ඔලුව උඩ තියා ගත්ත කුහකයෝ… අන්තවාදියෝ…. -මම කිව්වේ කලකිරීමෙන්.

තව දෙයක් මගේ හිතට ආවා

” නැහැ මෙහෙම දෙයකුත් හිතෙනවා ඇති.. මෙහෙම ලව් කර කර කවුරු හරි යනකොට එයාල  උපකල්පනය කරගෙන මවා ගන්නව වෙන්න ඇති ඊලඟට වෙන්න පුලුවන් දේවල්. අත් අල්ලන් නම් ඉන්නේ ඊලඟට කිස් එකක්.. ඊලඟට…. මෙන්න ඒ වගේ…. එක එක එවුව… මේ ගෑනු මිනිස්සු නැත්නම් මෙච්චර මොකද අපුලෙන් බලන්නේ  ආදරේ දිහා… මොකද උන් දෙන්නා වැරදි වැඩක් කරනවයැ… ? කුහක කම… මොකුත් නෙමෙයි කුහක කම…  උන් හිතන්නේ ආදරේ කියන දේ කාමය වරදවා හැසිරීම තරම්ම තැනකට ගිහිල්ලා තමා නතර වෙන්නේ කියලා…” මම කියාගෙන ගියා…

සොඳුරු කතන්දර කරුවත් මොහොතක් කල්පනා කලා…

” ඔව් … ඒ කතාව හරි වෙන්න පුලුවන්… මේ මිනිස්සු කොච්චර ගතානුගතිකද කියනවනම් , ආදරය කියන දේ මුලිනුපුටා දමපු රාගය සංසිඳවා ගැනීමක් පමණක් අත් විඳපු අය නිසාද දන්නේ නැහැ එහෙම අප්‍රසාදයෙන් බලන්නේ… මොකද තම තමුන් එක එක දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ තම තමුන්ගේ අත්දැකීම් අනුවනේ..

යුවලක් අත් අල්ලගෙන, එකිනෙකාට ඉතාම ලං වෙලා යනකොට මේ මිනිස්සු  හිතන්නේ ” මේක නම් තනිකර මදය… මේක නම් කෙලවර වෙන්නේ කාමයත් සංසිඳවා ගැනීමෙන් කියලයි..ඒ දිහා බලන්නේ මුන් දෙන්නා රාගයෙන් වියරු වටිලා මෙතන හොඳ හොඳ සෙල්ලම් දකින්න තව ගත වෙන්නේ මොහොතයි දෙකයි” වගේ….  කුතුහලය, දෙගිඩියාව , තරහව, උද්වේගය පිරිච්ච අපිරිසිදු ඇස් වලින් ඊට පස්සේ හොයනවා ‘සදාචාරය, විනය , හැදිච්චකම නාමයෙන් මුන්  දෙන්නව සංස්කෘතික බන්ධනාගරයට අතඩංගුවට පත් කරන්න හේතුවක්…

ඔවුන් හිතන්නේ අත් අල්ලා ගැනීමෙන්, ලං වීමෙන්, සිප ගැනීමන් සිදු වන්නේ  ලොකු process එකක ආරම්භය මිසක් මෙතැනින් සංසි‍ඳෙන ආදර හැඟීමක් තිබිය නොහැකි බවයි… ” තැන නොතැන දන්නෙ නැති කම…නැහැදිච්චකම.. වැඩිහිටියන් ඉන්න එකවත් සලකන්නේ නැති එක ” – ඒක තමා එවන් ආදරවන්තයන්ට දෙන පදක්කම…

මොකද එයාල ලබලා තියෙන්නේ ඒ වගේ අත්දැකීමක් වෙන්න ඇති…එක්කෝ ආදරය පිටිපස්සෙන්ම කොහෙ ගියත් කාමාවේශය ලුහුබඳින හැඟීම් වෙන්න ඇති… මිනිසුන්ගේ මිනිස්කමට මම නිග්‍රහ කරනව නෙමෙයි… ඒත් සුන්දර  ආදරය ලබල නැති කෙනෙක්, එතැන ආදරය විඳින්න , ලබන්න නතර වෙන ආදරවන්තයෙක් අත් විඳින සංහිඳියාව දිහා සරාගී රංගනයක මුල් ජවනිකාව

හැටියට දකින් එක වැරදියි කියන්න අමාරුයි.. ඒ එයාගේ අවබෝධය… එක්කෝ  අහිමි වීමේ සියුම් ඊර්ෂ්‍යාව… නොලැබීමේ දුක…

එයාල හිතන්නේ ආදරය කිරීම , ලං වීම , සිප වැලඳ ගැනීම කියන්නේ කෑම කන්න කලින් බොන සුප් එක වගේ කියලයි… සුප් බීවම එන කෑම රුචියට පස්සේ කෑම නොකා ඉන්න බැහැනේ…. සුප් බොනවා නම් කෑම කන්නම වෙනව කියල හිතනව ඇති… නැත්නම් එක්කෝ මුන් සුප් බොන්න පුරුද්දක් නැතුවම කෑමම එක පාර කන්න විතරක් දන්න එවුන්… සුප් බීමෙන් නතර විය හැකි තෘප්තියක් තියනවයි කියල ජීවිතේට අදහන්නේ නැති එවුන් තමා ඔහොම විනය ගරුක මිනිස්සු වගේ ලව් කරන දිහා බලන් ඉන්නේ…”

ඇත්ත.. සොඳුරු කතාවෙන් මතුවූ දේ දවස් ගාණක් හිතන්න වටින දෙයක්…

සුප් නොබී කෑම ගැනීම නීරස විය හැකියි, starter එකක රසය දන්න කෙනෙකුට…  starter එකක් ගැන නො ඇසූ කෙනා සිතන්නේ සුප් බීම අහර ගන්න තියන වෙලාව නිකම් අපතේ යැවීමක් පමණයි කියලයි… සුප් එකක රසය දන්න අය අතර සුප් එකෙන් සෑහෙන්න සූදානම් අය වුවත් සිටිය හැකි බව දකින්න තරම් විවෘත මනසක්, කුතුහලයෙන් නොව බුද්ධියෙන් මෙහෙයවන මනසක් මෙ රටේ මිනිසුන් ලබන්නට තව ශත වර්ශ ගණනාවක් නොයාවිද?

ආදරය දිහා ආදරෙන් බලන්න… මේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න…..

සොඳුරු කතාකරුවාටත් ස්තූතියි…. 🙂

මට ඕනෑ නවතින්න….

March 28, 2010 Leave a comment

මට ඕනෑ නවතින්න
කැබැලි වුන හිත් බඳුන
විසිරි ගිය කැබැලිති
එකින් එක ඇහිඳින්න….

ඇහිඳ ගත් හිත් කැබැලි
ගලපන්න මුල මැද
ටිකෙන් ටික
එකිනෙකට අලවන්න…

සුලඟකට සැලෙන්නැති
අසණියට බි‍ඳෙන්නැති
කු‍ටුම්බය සිරස මත
කිරුලක්ව පලඳන්න….

මට ඕනෑ නවතින්න
දිවිල්ලට සමුදෙන්න
ජීවිතය දැක ගන්න…
ජීවිතය විඳ ගන්න….

"මාව කොටිය කාපුවාවේ…! " :-)

March 26, 2010 Leave a comment

ගැහැණු පරාණෙකට තරහ ගියහම න්‍යශ්ටික බෝම්බයක් වගේනේ…. මට තරහ ගියහම පිපිරිල යන්නේ අවට නොවෙයි.. අභ්‍යන්තරයයි….  රිදුම් කන හදවතයි කැබලි වෙන්නේ.. ඒ මම සංවේදි වැඩි නිසා වෙන්න ඇති…. දුක මටම හරෝ ගන්න නිසා වෙන්නැති…

අහසත් එක්ක ඔරොප්පු වුන තරහට (කලින් පෝස්ට් එක බලන්න) , හිතට කැ කොස්සන් ගසමින් මම මගෙ හිතට දොස් පවරමින්, පන්ති කාමරේක හිටගෙනම කොල කැල්ලක ලිවුව හිතේ අමාරුව…

“මාව කොටිය කාපුවාවේ…! ” මේ මට මාත් එක්ක තරහ ගියහම කටින් පිටවෙන මගේ ප්‍රසිද්ධ කියමන ..:-)

ඉතින් මේ කවියටත් දෙන්න හිතුවා ඒ තේමාවම… ටිකක් නුහුගුන තේමාවක් තමා… ඒත් හිතට දැනිච්ච අති සංවේදි හැඟීමයි ලියුවේ…

****
සරීර කූඩුව තුල
හදවත පිහිටි තැන
කුහරයක් පමණක් නම්….
හැඟුම් දැනුම් නොදැනෙන…!
හදවතට වාල්කම් කරන
මොල කූඩුව පිහිටි තැන
නරුම විස දල තුඩක් නම්….
මිනිස් දහමක් නොහැ‍ඟෙන..!
සිනහවක් විඳි වරදට
හැඬුම් සියයක් හිලවු වන
ජීවිතය පිලිකාවක් නම්…
සැතකින් අක් මුල් සි‍ඳෙන..?
****

ඉස්සෙල්ලම කමෙන්ට් එක දුන්නේ අහසමයි…. ” කවියක් වශයෙන් ලස්සනයි..පට්ට! ඒත් ඔයාගේ නිර්මාණයක් නිසා ඉවසනවා..නැත්නම් ඉරලා විසිකරනව 🙂 “

පසුවදන…

අඳුර ඉවරයි.. දැන් ඒ පැහැදිලි නිල් අහසේ කිරි බැබැලෙන සුදෝ සුදින් ආයෙමත් සඳ හිනැහෙනවා…. 🙂

පොඩි පොඩි නෝක්කාඩු…. :-)

March 26, 2010 Leave a comment
විඩාබර හිත
බස් රියක එල්ලී
ඇදෙන සඳ
සවන් පත දැවටෙයි
මනරම්ම පැදියක්…!
නිදා උන්
සිත් කෙම් බිමට
ආකාස එලියක්ව
පතිතවන
පෙම්වත්ම මුහුණක්..!
කෙටිම කෙටි
පණිවිඩයක ඇමිණි
සෙනෙහසත් ගෙන
හිත ඉගිල යයි
අවකාශය තෙක්….
පිලිතුරක් නැති
වැහි කඳුල
මන්දාරම් අහසින්
පතිත වෙයි
පිලිතුරක්ව- පිලිවදනක් !
හරිම උණුසුම්
සෙනෙහෙබර
වැහි කඳුල
පොලෝ සම වැද
උරා සැඟවෙත්…
එ’සම පලාගෙන
පැන නැගී
දසන් දී
සිනහවෙයි
සුදුම සුදු පියුමක්… !

තවත් නවාතැනක්…. ( 1st version )

March 26, 2010 Leave a comment

        මේ  කවියේ ඉතිහාස කතාව මම ඉස්සෙල්ලාම කියන්න කැමතියි. මම පෙරෙදා පන්තියක ලමයි වැඩක් කරද්දී ඉඳගෙන ඉන්නකොට , මගේ ජීවිතේ හිස් කාලය ගැන ලියන්න හිතුනු සිතුවිල්ල රෙකෝඩ් බුක් එකේ සටහන් කලා. ඒත් ඒ කොලය ගේන්න බැරි උන නිසා ඊයෙ රෑ ආයෙමත් හිතලා වෙන විදිහකට ටයිප් කලා… ඉතින් ඔයාලා කලින් පෝස්ට් එකේ දැක්කේ ඒ දෙවෙනි කවියයි….

       අද ගිහින් රෙකෝඩ් බුක් එක බැලුවම මට හිතුනා පලවෙනි version එක ඊට වඩා හොඳද කියලත්.. ඒ නිසාමත් , සොඳුරු කතන්දරකරුවෙකුත් මේ පලවෙනි version එකට කැමති උන නිසාත් මට මේ 1st version එකත් දාන්න හිතුනා.. මම මේ version එකට නම දෙන්නම්, එක් නවාතැනක් ( version 1) කියලා 🙂

      මට ඔයාලත් කියන්න වඩා කැමති මොන එකටද කියලා..

තවත් නවාතැනක්…
නිසංසල සුලඟ විඩා නිවන,
හැඟුම්බර අහස ඉසුඹුලන…

තවත් නවාතැනක්…
කඳුලින් තෙමී නැහැවෙන,
සිනහව මැකී බොඳ වෙන….

තවත් නවාතැනක්…
එහෙත් එය,
හරිම හිස්තැනක් !


එක් නවාතැනක් …!

March 25, 2010 Leave a comment


එක් නවාතැනක්…
කඳුලු ඉනු ඇසක්
වියැකි ගිය හසක්
කතා නැති කවක්….

එක් නවාතැනක්….
අහස සැදි වියනක්
නිදයි මිහි තලයක්
අකීකරු හිතක්….

එක් නවාතැනක්…
මිය ඇදෙයි ඉරක්
සඳ ගනී ඉඩක්..
එය හරිම හිස්තැනක්….!

ගැහැනිය හෙවත් තැතිගත් ලෙහෙණිය?

March 23, 2010 Leave a comment

ගැහැණියක් උපදින්නේ මොන දේ උපතින්ම අරන්ද? මට හිතෙන්නේ පලමු කොටම සියුමැලිකම… අපි
කතාවටත් කියන ගැහැණු ගතිය…. බොලඳ කම.. සුන්දරත්වය….

ඒ විතරක් නෙමෙයි… අනාරක්ෂිත භාවය… ඒක දෝතින්ම දරාගෙනයි ගැහැනියක් උපදින්නේ…

බිලිඳියක් උපන් මොහොතෙන්ම අම්මා කෙනෙක් ඈ ගැන නොයෙක් සිහින මවනව.. ඈව සරසන්න, මලක් වගේ නොතැලෙන්න හදන්න අම්ම දරන්නේ පුදුම මහන්සියක්… එතන් පටන් ඇස් දෙක වගේ ඈව පරිස්සම් කරන්නේ අනාගත කුල කතක් කරන්න… ( මම මේ කියන්නේ ලංකාවේ බහුතරයක් හිතන විදියක්) .. කතන්දරයක් අහන්නේ නැති  උදාරම් යෞවනියක් කරන්න….

වැඩිව්ය පත් වන්නත් පෙර සිටන්ම අම්ම ඈට උපදෙස් දෙනව… ‘පුතේ හැමොත් එක්කම වැඩිපුර කතාවට

යන්න එපා..අනිත් අය දෙන දේ කන්න එපා… තනියම එන්න එපා… පාරේ පරිස්සමින් යන්න…

‘ මෙකී නොකී දේ…. නැද්ද?

කෙල්ලෙක් වැඩිවිය පත් වන්නේ, මෙතෙක් කල් තිබූ අනතුරු අඟවීම් තහංචි බවට පත් වෙමින්.. ඇයි මේ? ගැහැනියගෙ ශාරීරික ව්‍යුහයෙන්ම ඇයට දී තියන සියුමැලිකම නිර්මාණය කොට තියන අනාරක්ෂිත බව පසක් කරන්න….

වැඩිවිය පත් යුවතියක් කාමරයක හිර කරල තියනව පිරිමින්ගේ ඇස් වලින් ඈත් කරල ටික දවසක්… මේවා
නිකම්ම නිකම් පුහු හිස් දේවල්ද? මට නම් එහෙම කියන්න අමාරුයි.. මොකද , එහෙම තනිවෙන තරුණිය ස්වයං විශ්ලේෂණයක යෙදෙනව තමුන් මුහුණ දුන් වෙනස ගැන..( මං දන්නේ නැහැ..මේ තරුණියක් හැටියට එදා මට පවා හිතුන දේ) .. එහි බැරෑරුම් කම ගැන… වගකීම ගැන… පරිස්සම් විය යුතු බව….  පිරිමින් සියලු දෙනා අතේ දුරින් ආශ්‍රය කල යුතු බව…. මේවා හර සුන් පුහු චාරිත්‍ර හැටියට ගන්න බැහැ ඒ නිසා….මේවා මානසික සංක්‍රාන්තියක හට ගන්නා වියවුල් බව නිවා ගෙන සංසුන් වෙන්න දෙන මානසික ප්‍රතිකර්ම ….

තමා ලඟ ‍රැකිය යුතු දෙයක් ඇති බව… අනාරක්ෂිත සමාජයක දෙමාපියන්ගේ ‍රැකවරණය නැතිව පවතින්න
අමාරු බව… ඈ මුල් වරට පසක් කරනව… වැඩිවිය පත් වුන තරුණිය එලි පහලියට වඩමවන්නේ උත්සවාකාරයෙන්.. සමහරු වාද කරනව ශාරීරික ක්‍රියාවලියක පටන් ගැන්ම උදම් ඇනිය යුතු උත්සවයක් නෙමෙයි කියල.. එත් බොහෝ දෙනාට අමතකම වෙන දෙයක් තමා, මේ සමග මානසිකව සහ, හෝමෝන  සම්බන්ධ අමුතුම ක්‍රියාවලියකුත් නොදැනීම ශරීරය තුල හට ගන්නා බව.. එහි වෙනස වටහා දෙන්නට මෙවන්  පරිසරයක් ඉවහල් වෙනවා යැයි මට හිතෙනව…

විවාහයකට පත් වෙන තුරුත් තරුණියක් සොයන්නේ මේ අනාරක්ෂිත සමාජය තුල සුරක්ෂිත ආදරයක්… සෙනෙහසක්.. ‍රැකවරණයක්… තැති ගත් ලෙහෙණියක් මෙන් කොයි මොහොතෙත් බයෙන් සැකයෙන් තැතිගෙන වට පිට බලමින් පැය 24ම තරුණියක් ගෙවන්නේ මේ අනාරක්ෂිත හැඟීම හිතට වද දෙන නිසා වෙන්න ඇති…  මිනිසුන් විස්වාස නොකරමින්, අවංක ආදරය වෙනුවෙන් හඬමින්, ‍රැවටිල්ලට , වංචාවට එරෙහි වෙමින් ගැහනියක් මේ ගෙනියන  සමස්ත අරගලයම මේ අනාරක්ෂිත හැඟීම් විසින් මෙහෙයවනු ලබන යටි හිතේ ක්‍රියා වලීන් කියලයි මට හිතෙන්නේ.

කොතරම් නූතන ඇස් වලින් ලෝකය දකින්න හිතුවත්, මෙවන් හරවත් දේ දිහා වප‍රැහින් බැලිය නොහැකි තරම් ඒ සාම්ප්‍රදායිකත්වයේ (ඇතැම්) අවස්ථා වලට මම ආදරය කරනවා.

මේ දිග කතාවම ලියන්න හේතු උනේ, තවත් එක් සොඳුරු කතා කරුවෙකුත් එක්ක කයිය ගහද්දි මතු වෙච්ච සිතිවිල්ලක්….

ගැහැනියක් ආදරයක් යනුවෙන් හැබැවටම හොයන්නේ මොකක්ද??? සෙනෙහසද? ලෙංගතුකමද? බොලඳ ආලයද? රාගයද? සමාජ තත්ත්වයද? සල්ලිද? දේපොලද? මේ හැමදේම වෙන්න පුලුවන්.. මේ හැමදේම නොවෙන්නත් පුලුවන්… ශතවර්ශ ගනණාවක් ශිෂ්ටත්වය ඉදිරියට තල්ලු කරන් ආ සාම්ප්‍රදාය, ආවේණික චාරිත්‍ර යනාදී මේ හැමදේම ඉඟි කරන යම් දෙයක් තිබෙනව….

කිනම් ගැහැණියක් මුත් , ඉහත කී හැම දෙයක්ම හෝ කිහිපයක්, පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වන්නේ හැබවින්ම ගැහැනියකගේ ‘අනාරක්ෂිත’ හැඟීම සමනය කර ගන්න නෙමෙයිද? කොතරම් උගත් වුවත් , කොතරම් බලවත් වුවත් , ගැහැනියකගේ සියුමැලිකම නොහොත් සියුමැලි ගැහැණියකගේ සිහිනය – මේ අනාරක්ෂිත හැඟුම අවම කර ගැනීම නෙමෙයිද?

අති ස්වාධීන , යකඩ වැනි ගැහැණුන් නොසොයන්නේත් මේ ‘‍රැකවරණය- සුරක්ෂිත බව’ නෙමෙයිද? එතැන ගැහැනියක් සිටීදැයි මට සැකයි..