Archive

Archive for the ‘විරහව ද? විරවීම ද?’ Category

තවත් නවාතැනක්…. ( 1st version )

March 26, 2010 Leave a comment

        මේ  කවියේ ඉතිහාස කතාව මම ඉස්සෙල්ලාම කියන්න කැමතියි. මම පෙරෙදා පන්තියක ලමයි වැඩක් කරද්දී ඉඳගෙන ඉන්නකොට , මගේ ජීවිතේ හිස් කාලය ගැන ලියන්න හිතුනු සිතුවිල්ල රෙකෝඩ් බුක් එකේ සටහන් කලා. ඒත් ඒ කොලය ගේන්න බැරි උන නිසා ඊයෙ රෑ ආයෙමත් හිතලා වෙන විදිහකට ටයිප් කලා… ඉතින් ඔයාලා කලින් පෝස්ට් එකේ දැක්කේ ඒ දෙවෙනි කවියයි….

       අද ගිහින් රෙකෝඩ් බුක් එක බැලුවම මට හිතුනා පලවෙනි version එක ඊට වඩා හොඳද කියලත්.. ඒ නිසාමත් , සොඳුරු කතන්දරකරුවෙකුත් මේ පලවෙනි version එකට කැමති උන නිසාත් මට මේ 1st version එකත් දාන්න හිතුනා.. මම මේ version එකට නම දෙන්නම්, එක් නවාතැනක් ( version 1) කියලා 🙂

      මට ඔයාලත් කියන්න වඩා කැමති මොන එකටද කියලා..

තවත් නවාතැනක්…
නිසංසල සුලඟ විඩා නිවන,
හැඟුම්බර අහස ඉසුඹුලන…

තවත් නවාතැනක්…
කඳුලින් තෙමී නැහැවෙන,
සිනහව මැකී බොඳ වෙන….

තවත් නවාතැනක්…
එහෙත් එය,
හරිම හිස්තැනක් !


Advertisements

එක් නවාතැනක් …!

March 25, 2010 Leave a comment


එක් නවාතැනක්…
කඳුලු ඉනු ඇසක්
වියැකි ගිය හසක්
කතා නැති කවක්….

එක් නවාතැනක්….
අහස සැදි වියනක්
නිදයි මිහි තලයක්
අකීකරු හිතක්….

එක් නවාතැනක්…
මිය ඇදෙයි ඉරක්
සඳ ගනී ඉඩක්..
එය හරිම හිස්තැනක්….!

නොදනිමි…. අහිමි.. නොහඟිමි….

March 2, 2010 Leave a comment

මද්දහන නොවිඳි දිගු දවස වෙමි
හිමිදිරිය අහවර විය, හඟිමි
නුඹ මා  කොතැනටද  ම’හිමි
කවදා පසිඳිමුද ? නොදනිමි….
පියවරක් තබමි, යලි හැරෙමි
තැබූ පිය වැරෙන් මකාලමි…
මහමෙරක් උරෙන් උහුලමි
ඇස් අරින මල් පෙති අහුලමි….
හුස්මකින් යලිත් තිගැස්සෙමි
ගැස්මකින් රහස් කොඳුරමි
විස්මයෙන් ගල් ගැසෙන ඇස් අරිමි
ඇස් දෙකින් අහස සිතුවම් කරමි…
අසුරු සැනෙකින් ඇහැරෙමි
සිහිනයක් මේ යැයි පසිඳිමි
අත්ලෙන් මිදි  මල් පෙති සොයමි
පෙති නොසිඳි මල අදරින් සිඹිමි..
අහස් සෙවණැල්ලෙහි ‍රැ‍ඳෙමි
මල් ගොමුවෙන් හෙමින් හිස ඔසවමි
විකසිත නොවී,අහසට නෙත් දෙමි
මල් ගොමුවෙහිම  හිස බා නිදමි….

සොඳුරු සිතුවමක ලියු අකීකරු කවිය

February 23, 2010 Leave a comment

දහසක් ඇස් දෙන
සොඳුරු සිතුවමකින් ගිලිහුනු
සුසුමකින් ඇස් අරින
සුසිනිඳු මලකි මම්..

එහෙයින් ඒ සොඳුරු සුසුම් පොද
හැ‍ඟෙන මානයෙන්
ඉවත යමි,
දුරින් හිඳ සුසුම් ලමි…

හේබා ගොස්
මුකුලිතව ඉන්නෙමි
කඳුලු මත
සිනහ පිනි තවරමි

පපු තුරට නිහඬව
හිසදී තුරුලුව
හද ගැස්මෙහි
අරුත් පසිඳිමි
ගලපන මං සොයමි….

නිසංසල නිශාවට
ත‍ටු ගසන
හැඟුම් සියොතුන්
දැහැන් ගත කරවමි…

සොඳුරු සිතුවම
කොනෙක ලියවුනු
අකීකරු කවියට
නිදන් වෙන්නට දෙමි…
ඉතින් නම් නොනැගිටිමි….

අහිමි

February 2, 2010 Leave a comment

මේ මුලු පැදි පෙලම දැන් මගේ නොවේ… එයට මම ආඩම්බර වෙමි… කිම? මනහර කවියකුගේ සිතක අරුමැති වූ සොඳුරු කැපුම් කෙ‍ටුමින්, මගේ අදහස් පුංජය ප්‍රභාමත් විය… කවිය… මෙය නුඹගෙය දැන්…. නුඹට පින්සිදු වන්නට සොඳුරු වියක් බිහි විය…


හමා යන මේ සුළඟට
ගසා ඈතට යන සිත
හඹා දිව ගොස් පසුපස
සොයා ගෙන යළි එමි මම…



සදා පෙම්කල මතකය
මුදාලමි රෑ අහසට
සොයා අඳුරෙම යලි එය
දොවාලමි පිණි ඉස ඉස…



නොතෙත් ඇස් දී ඇස් වෙත
කොතෙක් රැව් මුත් සිහිනෙක
මෙතෙක් පිණි මිස ගිනිසැර
නොලෑවෙමි හිත් අරණට…



පොහොණි  නොම වන සිහිනෙක
පැමිණි සඳ වැනි නුඹෙ වත
අහිමි බැව් පසිඳන විට
කැබලි වෙයි යළි මගෙ සිත…

නිදා ගන්න දෙනවද ? නැද්ද?

January 30, 2010 Leave a comment

කිරිල්ලි බොහොම වෙහෙස මාන්සි වෙලා කෑම හොයාන ඉගිල්ලිල එන්නෙ කුඩු වෙන්න.. හිස් වෙච්චි රන් කූඩුව දිහා බලන්නත් දුකෙන් උනත් කිරිල්ලිට සිද්ද වෙනව කූඩු වෙන්නම… නැත්නම් දැන් අසරණ කිරිල්ලි කොහේ කියල යන්නද?


රූප පෙට්ටියට වහ නොවැටෙන කිරිල්ලි දහ අතේ කල්පනා කරනවා… වෙලා කට්ට බලනව… මොනවද කිරිල්ලි හොයන්නෙ? වෙන මුකුත් නෙමෙයි.. දවස ඉවර වෙන්නෙ කීයටද කියල….


ඕන්න දවස ගියා කියමුකෝ…. දැන් ඉතින් කිරිල්ලි ඉස්මනට ගොහින් ඇඳට  වැටෙන්නෙ හෙට දවසත් ඒ වගේ දිග උනත් අවදියෙන් ඉන්නවට වඩා නිදි වැදෙන එකෙන් ලැබෙන සහනය , කල්පනා නොකර ඉඳීමේ සැනසීම ලබන්න…


ට්‍රීං ට්‍රීං….


ශික් ! මේ රෑ කෝල් එකක්… (කිව්වට පාන්දරද කොහෙද…)


” මට තමුසෙව එපා…  මට කතා කරන්නත් එපා…”


කිරිල්ලි: “ඉතින් ඔයාට ඕන දෙයක් කරන්න… මම මොනව කරන්නද? මම පුලුවන් තරම් කල් ආදරෙ කලා.. ඔයට මාව ඔහොම එපා නම්… කරන්න දෙයක් නැහැනෙ”


කිරිල්ලි හුස්ම අල්ලමින් කියනව.. තතනනව…. ඇස් දෙකේ කොන් වලින් වක්කඩ කැඩුව වගේ පිටාර යන කඳුලු දකින්නෙ කිරිල්ලියි, කිරිල්ලිගෙ කම්මුලයි විතරයි… තනිකම.. වේදනාව .. ඇයි මේ දුක ආයෙ ආයෙ පුපුරු ගහන්නේ? අනේ…කිරිල්ලි හූල්ලනව….


ඩොග්…ඩොග්…. ( දොරට ගසන හඬ)


 “මේ නැගිටින්නෙ නැද්ද?, ඔයාට මොකද වෙලා තියෙන්නේ දොරට ඔච්චර ගැහුවත් ඇහැරෙන්නෙ නැත්තෙ? ආ…?” සහෝදර කිරිල්ලි නැගිටලා.. උදෙත් වෙලා.. දෙයියනේ… “මේ මුලු ‍රැයෙම  ඔහු මට කෑ ගැහුවෙ  මගෙ හීනෙ අස්සෙද?”


විඩාබර හිසින් කිරිල්ලි නැගිටින්නෙ මතකය අලුත් වෙච්චි දුකෙන්…  දවස පටන් ගන්නෙ දුකෙන් යැයි හිතෙද්දි කිරිල්ලිට හිතෙන්නෙ නැගිටින්නෙ නැතුව සදහටම නිදියන්න… එතකොට හීනෙත් නිදියාවි… ඒත් කවුරු එපා කිව්වත් , කිරිල්ලිට එපා නොවෙච්චි ආදර මතකෙ නම් ඊලඟ ආත්මෙත් පහන් කරාවි…


අනේ බුදු හිමියනි.. කිරිල්ලිට නිදන්න දෙන්න… එක ‍රැයක්.. නපුරු හීන නැතුව...

"කුරුල්ලා ඒවි" ඇගෙ විතරක් හිත කියනව !

January 30, 2010 Leave a comment

මහ හුලං හමමින් , ඇරිල තියන කවුලු පියන්

විසාල හරඹයක යෙදෙනව.

දොර පියන බිත්තිය එක්ක
තරහෙන් වගේ දබර කර ගන්නව

කිරිල්ලි පියාපතින් මූණ වහගෙන
කූඩුව ඇතුලෙ වැතිරිල කඳුලු හෙලනව…

රන් කූඩුව පාලු වෙලා….

වෙනද ඇහෙන
කවට හිනා , බොලඳ කතා කෝ?

දොර පියන ඇරල මුත්
කිරිල්ලි ඒ දිහා හැරිලවත් බලන්නෙ නැහැ..

ඈ ඒ නිදහස් ලෝකෙට බයෙන්
වැලපෙනව…

මොකද ඒ ලෝකය ඈට
නිදහස් එකක් නම් නෙමෙයි

කෝ කුරුල්ලා ඉතින්..?

ඈ දන්නෙ නැහැ…


අපි දන්නෙත් නැහැ..
කවද හරි හැමෝම දැන ගනීවි…


ඈ ඒ රන් කුලගෙයි
මේ උන්න වගෙම වැතිරිල
නිදහස සොයා නොපියඹා


අසරණව අදත් වැතිරිල ඉන්නව…


හැම දාමත් ඉඳීවි…


“කුරුල්ලා ඒවි”
ඇගෙ හිත නම් කියනව..


ඒත් …?

එහෙම කියන්නෙ,
හිතන්නේ ඈ විතරදැයි
මගෙ හිත නම් කියනව….